Pages

Showing posts with label මගේ අත්දැකීම්. Show all posts
Showing posts with label මගේ අත්දැකීම්. Show all posts

Sunday, September 16, 2012

කෙල්ලත් සමග කතා කර කෙල්ලගේ අම්මට මාට්ටු වීම


"අදනං කොහොම හරි එයත් එක්ක කතා කරන්න ඕනෙ බං."

      පවන් මට එහෙම කිව්වේ බ්‍රහස්පතින්දා දවසක හවස පන්ති ඇරිලා යන ගමන්. පවන් අපේ පන්තියටම එන 9 වසරේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා.

"ඉතිං ගිහින් කතා කරපන්කෝ......." මම කිව්වා.

"බෑ බං. එයා අද සමාධි අතේ කියලා තිබුණා එයත් එක්ක කතා කරන්න ඉන්න එපා කියලා. මොකද අද එයාව එක්කන් යන්න එන්නේ එයාගේ අම්මලු."

"ඉතිං හොඳයිනෙ බං. වෙනදට එන්නේ තාත්තනෙ. අද අම්මා එන එකේ ටිකක් කතා කරපං"

"මොන හොඳද බං? එයාගෙ අම්මා එනවට වඩා හොඳයි තාත්තා එන එක"

"ඒ ඇයි?"

"එයාගෙ තාත්තට වඩා අම්මා වසයි බං"

"ඉතිං උඹ කතා කරනවද?"

"ඒකට තමයි බං විදියක් නැත්තේ.  හදිස්සියෙ හරි අම්මා ආවොත් මම කපෝතියි."

"මම කියන්නද? උඹ ඒකිත් එක්ක කතා කරන්න පන්තිය ගාවට ආයෙ පලයං. ඒකිගෙ අම්මා එනවනං එන්නේ මෙතනින්නේ. අපි සුපුන්ට කියමු අම්මා එනවනං උඹේ ෆෝන් එකට කෝල් එකක් ගහන්න කියලා."

"පට්ට අයිඩියා එක මචං. එහෙනං එහෙම කරමු."

      මෙහෙම කියපු අපි සුපුන්ට කිව්වා කෙල්ලගෙ අම්මා එනවනං කෝල් එකක් ගහන්න කියලා. හැබැයි එතනදි අපිට පොඩි මිස්ටේක් එකක් වුණා. ඒ පොඩි මිස්ටේක් එකෙන් තමයි පවන්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ.

"එහෙනං උඹත් වරෙං බං ෂේප් එකේ මාත් එක්ක යන්න." පවන් මටත් එන්න කිව්වා. මමත් ඉතින් පවන් එක්ක ගියා.

      අපි පන්තිය ගාවට යනකොට කෙල්ල ඉන්නවා තනියෙන්. පවන් එයාගේ ෆෝන් එක මට දීලා කෙල්ල ළගට ගියා. මම ඊට අඩි පහක් හයක් මෙහායින් හිටියා.

"අනේ පියුමි....... මට ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මට ඔයත් එක්ක හරියටම දවස් 9 කින් කතා කරන්න හම්බ වුණේ නෑ."

"ඇයි පවන් අයියෙ ඔයා ආවෙ? මම කිව්වා නේද එන්න එපා කියලා. අද අපේ අම්මා එනවා. අනික අපෙ අම්මට අර ඔයා දීපු............................"

      කෙල්ලට කතාව කියලා ඉවර කරගන්න හම්බ වුණේ නෑ. රතුපාට ස්කූටරයක් ඇවිල්ලා අපි ඉන්න තැනට පොඩ්ඩක් මොහායින් නතර කළා. ඒකෙ  ආවෙ අවුරුදු 35 ක 40ක විතර ඇන්ටි කෙනෙක්.

"මොනාද ෂශී ඔයා මේ කරන්නෙ........?"

 පියුමිගෙන් එයාගෙ අම්මා ඇහුවා. ඒත් කෙල්ල හොඳටම බයවෙලා මුකුත් කිව්වේ නෑ. අර ඇන්ටි පවන් දිහා ඔරවලා බැලුවා.

"‍පොඩ්ඩක් ඔයා එන්න මෙහාට" ඇන්ටි පවන්ට කතා කළා.

"ඔයා ද පවන් කියන්නේ?"

"ඔඔඔ......ව්... ඇන්ටි.........."

"ඔයා නේද පියුමිට ගිය සතියෙ චන්කි චොක් එකක් දීල එවල තිබුණෙ?"

"මේ..............නෑ.......මේ...........මම.............."

"මම දන්නවා ඔය දෙන්නා අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා. මම මේක දැනගත්තට තාත්තට කිව්වේ නෑ. එයාට කිව්වනං පුතේ ඔයාට ගුටි කන්න වෙනවා. මෙතන කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට මම කිසි කෙනෙකුට මේක කිව්වෙ නෑ. හැබැයි පුතේ මේ අහගන්න. තාම ඕගොල්ලො ඉගෙන ගන්න වයස. මේ වයසෙදි ඔය වගේ විකාර ඔළුවට ගත්තම  ඉගෙනුම කඩාකලප්පල් වෙනවා. ඕවා ඔයදෙන්නට ඕලෙවල් ඒලෙවල් කරලා ඉවර වුණාම කරන්න ඕන තරම් කාලය තියෙනවා. ඔයා හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගෙන ඉවර වෙලා ඔය දෙන්නා යාළු වුණාට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. මම අන්තිමට කියන්නෙ මේකයි හොඳට ඉගෙන ගන්න."

එහෙම කියපු ඇන්ටි අර කෙල්ලවත් බයිසිකටල්ට නග්ගගෙන යන්න ගියා. මේ කතාව අහගෙන හිටපු පවන් හිටියෙ නිකං පිස්සු හැදිල වගේ. මටත් නිකං විශ්වාස කරන්න බෑ.

      ඔය සිදුවීම වුණේ මීට මාස දෙකකට විතර කළින්. ඊට කළින් එච්චර ඉස්කෝලෙ වැඩ වලට උනන්දුවක් නොතිබුන පවන් දැන් ඇත්තටම බැහැල වැඩ. ඌට කිබුණු ෆෝන් එකත් අයින් කරලා දාලා වෙන කිසිම දේකට හිත යොමු කරන්නේ නැතුව පාඩම් කරනවා. හැබැයි ඉතිං කෙල්ලත් එක්ක කතා කර කර එහෙ මෙහෙ යනඑක නං නවත්තලා නෑ.

අනිත් එක තමයි අපිට අම්මා එනවනං කෝල් එකක් ගන්න කියපු එකාට වෙච්ච වැඩේ. ඒ වෙලාවේ උගෙ ෆෝන් එකේ බැට්රිය බැහැලා ෆෝන් එක ඕෆ් වෙලා තිබිල තියෙන්නේ. කෝල් එක ආවෙ නැත්තේ ඒකයි. කොහොම වුනත් ඒ වෙලාවෙ ෆෝන් එක ඕෆ් වෙච්ච එකත් හොඳට ගියා.

Wednesday, August 22, 2012

පිටට තට්ටු කරපු මෝහිනී


අරුණ වේරගල සර්ගෙ සිංහල පන්තිය පටන් ගන්න තිබුණෙ විනාඩි විස්සක් විතර. එදා අඟහරුවාදා දවසක්. වෙලාව තුනයි දහයට විතර ඇති. මම පන්තිය ගාව අපේ පන්තියේ අනිත් අයත් එක්ක හිටියා පන්තිය පටන් ගන්නකං. ඔය අතරෙදි තමයි අපේ පන්තියෙ ඉන්න මධුෂ්ක කියන එක්කෙනා ආවෙ.

ඒ.... මේ බලහංකෝ බං මේ ෆොටෝ එක......... මධුෂ්ක කිව්වා.

කෝ පෙන්නහං බලන්න තොගෙ මහලොකු ෆොටෝ එක.... අපේ එවුන් කිව්වා.

මමත් එහෙං මෙහෙන් එබිලා ෆෝන් එකෙන් පෙන්නපු ෆොටෝ එක බැලුවා. ඒකෙ තිබ්බේ මධුෂ්කගේ අයියගෙ ‍ෆොටෝ එකක්. ඒක අරගෙන තිබුනෙ ඒගොල්ලන්ගේ ගෙදර වත්තෙදි. ඒකෙ තිබ්බ පුදුමෙ තමයි ඒ ‍ෆොටෝ එකේ අයිනකින් සුදුපාටට මනුස්සයෙක්ගේ හැඩේට ඡායාවක් වගේ රූපයක් තියෙනවා. ඉතින් ඕක දැකලා අපේ පන්තියේ ඉන්න මහාචාර්යවරු එක එක කතා කිව්වා. මමත් ඉතින් ඔය කතා අහං ඉන්න ගමන් අපේ පන්තියේ ඉන්න තව එකෙක් තව කතාවක් මට කිව්වා. ඒ කතාව අර කතාවට වඩා මේ කතාව හොඳ හින්දා මම මේ කතාව කියන්නං.

ඕවා නෙමෙයි බං හොල්මන්... උඹ දන්නවා නේද උපුල් අයියව?

මොන උපුල්ද බං?

අර ගියපාර කැම්පස් සිලෙක්ට් වෙච්ච එකා බං.

අර සයන්ස් වලින් ඒ ලෙවල් කරපු එකානෙ.

ඔව් ඔව්.

ඉතින්?

අන්න ඌ ඉස්සර, ඒ කියන්නෙ මීට අවුරුදු තුන හතර කට කලින් ඉදං ඌට තිබ්බණෙ මාර විද්‍යා පිස්සුවක්. ඒ පිස්සුව කොච්චරද කියනව නං ඌ හැමදෙයක් කතා කරන්නේ විද්‍යාවෙන්. නිකං යාලුවෙක් විහිලුවක් කළත් ඌ විද්‍යාවෙන් කියවනවා.

ඉතින් මොකද ඌට වුණේ.?

ඌ ඒක හින්දම හොල්මන් විශ්වාස කරන්නේ නෑ. අඩුම ගානෙ හොල්මනක් ළඟට ඇවිල්ලා කතා කරත් මූ හොල්මන් විශ්වාස කරලා නෑ.

ඇයි ඌට හොල්මනක් හම්බ වෙලාද?

ඔව් බං. ඌ පන්ති ඉවර වෙලා ගෙදර යනකොට දවසක් උගෙ පිටිපස්සෙන් මෝහිනි ඇවිල්ලා කතා කරලා

ඇත්තටම මෝහිනීද?

පොඩ්ඩක් හිටපංකෝ කියනකං පනින්නෙ නැතුව. ඌ ගෙදර යනකොට යන්නේ කනත්ත ගාවෙන්. එතකොට වෙලාව නවහමාරට විතර ඇති. එකපාරටම කනත්ත ගාවදි පාරෙ ලයිට් කණු වල ලයිට් ඕෆ් වෙලා. මුලු පාරම මීදුමෙන් වැහිලා. ඌ ඒත් බයවෙලා නෑ. එකපාරටම සීතලම සීතල අතක් උගෙ පිටට තට්ටු කරලා. ඌ පිටිපස්ස හැරිල බලලා. ළමෙක් වඩාගත්ත ලස්සන කෙල්ලෙක් ඉන්නවලු සුදු සාරියක් ඇදගෙන. ඊට පස්සෙ ඒ කෙල්ල ඇහුවලු මුගෙන් කනත්තට යන පාර. මූ ගත්කටටම කිව්වලු මෙන්න මේ පාර දිගේ කනත්තට යන්නෙ. ඔයාට තනිනං මාත් එන්නං ඔයත් එක්ක යන්න කියලා.

මූ මාර යකෙක්නේ බං! ඉතිං ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?

අර කෙල්ලත් කියලා හා එහෙනං මාව කනත්තට එක්කං යන්න කියලා.

ඉතින් ඌ මෝහිනීව කනත්තට එක්කන් ගිහිල්ලද?

කනත්තට එක්කන් ගිහිල්ල විතරක් නෙමෙයි තව තව වැඩත් කරලා.

ඒ මොනවද?

ඌ ඒ කෙල්ලට කරදර කරන්නත් හදලා

මොකක් ! හොල්මනකට කරදර කරන්න හදලා?

ඒකි ඇත්තටම හොල්මනක් නෙමෙයි බං. ඒක අර උගෙ යාලුවො ටික ගහපු මාර ගේමක්.

ඒ කියන්නේ අර කෙල්ල ඇත්ත කෙල්ලෙක්? බොරුවට උපුල්ව බය කරලා?

ඔව් ඒක තමයි කරල තියෙන්නේ. ඒ වැඩේ කරන්න උන්ට රුපියල් තුන්හාර දාහක් ගිහිල්ලා. වැඩේ ඔරිජිනල් විදියටම තමයි කරලා තියෙන්නේ.

ඇයි ඒ උපුල්ගෙ යාලුවො ටික ඌව බය කරල තියෙන්නේ?

මේකයි වෙලා තියෙන්නෙ. ඔය වැඩේ වෙන්න ටික දවසකට ඉස්සෙල්ල තමයි අර අතන කුමාර මාමලගෙ ගෙවල් ගාව හිටපු කෙල්ලෙක් ඇක්සිඩන්ට් එකකින් මැරුණෙ. ඒ මළ ගෙදරට උපුලුත් ගිහිල්‍ලා. එතතනදි උගෙ යාලුවො ටික ඌත් එක්ක වාදෙකට පැටලිලා හොල්මන් ගැන. උපුල් කියනවලු හොල්මන් කියලා දෙයක් නෑ කියලා. ඒක ඔප්පු කරන්න විද්‍යාත්මක දේවලුත් කියනවලු. ඕක අහගෙන ඉන්න එවුන්ට ඒ වෙලාවෙ ටිකක් මළ පැනලා. ගහගන්නත් ගිහින්. ඒත් කොහොම හරි ෂේප් කරගෙන. ඒ වුණාට ඒ වෙලාවෙ උන් කතා වුණාලු කොහොම හරි මූට වැඩක් දෙනවා කියලා.

එතකොට ඕකද දීපු වැ‍ඩේ?

ඔව්. ඒ වුණාට ඒ වැඩෙත් උන් දීල තියෙන්නෙ විද්‍යාත්මක විදියට.

ඒ කියන්නේ?

උන් වැඩේට කෙල්ලෙක් හොයාගෙන තියෙන්නෙ මෙහෙමයි. උපුල් එක්ක එදා වාද කරපු එකෙක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු හරියට අර මැරිච්ච කෙල්ල වගේ හැඩ හුරුකම් තියෙන. අන්න ඒ කෙල්ලව තමයි මෝහිනි වගේ අරගෙන තියෙන්නේ.

එතකොට අර මීදුම ආපු ඒවා? ලයිට් නිමිච්ච ඒවා කළේ කොහොමද?

මීදුම එන වැඩේ තමයි විද්‍යාවෙන් දීල තියෙන්නේ. උන් මීදුම හදලා තියෙන්නෙ ඩ්‍රයි අයිස් (වියලි අයිස්, ඒ කියන්නේ ඝන කාබන්ඩයොක්සයිඩ්) ලීටර් පහ හයක් ගෙනල්ලා ඒවා වලට වතුර දාලා. එතකොට නිකම්ම මීදුම වගේ වටේට හැදෙනවා.

ලයිට් ඕෆ් වෙච්ච ඒවා?

ඒක කරන්න උන් ඊට කලින් දවසෙ රෑ ගිහිල්ලා ලයිට් කණුවල ස්විච් ගලවලා ඒකෙ තියෙන වයර් වලට තව වයර් මුට්ටු කරලා ඒ වයර් එක තැනකට හයි කරලා උන්ට ඕන වෙලාවට ලයිට් ඔෆ් ඔන් කරන්න පුළුවන් විදියට.

මාර ගේමක් නෙ බං ගහලා තියෙන්නෙ

අර කෙල්ලගෙ අතේ තියලා තියෙන්නේ බෝනික්කෙක් ඇත්ත ළමයෙක් වගේම. ඒ කෙල්ල උපුල්ව අල්ලන්න කළින් අතට ෂොපින් බෑග් එකක් දාගෙන අත අයිස් කැට කෝප්පෙක ටිකක් වෙලා දාගෙන ඉඳලා තියෙනවා. එතකොට අත සීතල වෙනවනෙ.

අන්තිමට මොකද වෙලා තියෙන්නේ?

අන්තිමට උපුල් අර කෙල්ලව අරගෙන කනත්ත ඇතුලට ගියාට පස්සෙ අර කෙල්ලගෙ අතින් තද කරලා අල්ලලා. එතකොට ඒ කෙල්ලට කෑගැහිලා. ඒක ඇහිච්ච කෙල්ලගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා සිද්ධිය උපුල්ට පැහැදිලි කරලා දීලා අන්තිමට වැඩේ කරපු එවුන් උපුල්ට කියලා උන්ගෙ අම්මලවත් මතක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ.

ඔන්න ඔය වෙලාවෙදි අපේ සිංහල පන්තිය පටන් ගන්න කට්ටියට පන්තිය ඇතුලට එන්න කිව්වා. ඒ වෙලාවෙදි මට මතක් වුණේ මමත් පන්ති ඇරිල යන්නේ උපුල් ව බය කරපු කනත්ත ගාවින්මයි කියන එක.

Saturday, August 11, 2012

කෝකියාට වැහුණු භූතයා (සම්පූර්ණ කතාව)



 මම කළිනුත් මේ කතාවම පළ කළා. ඒත් පොඩි අතපසු වීමකින් සම්පූර්ණ කතාවම පෝස්ට් වෙලා තිබුණෙ නෑ. ආයෙත් කතාව මුල ඉදන්ම ඉවර වෙනකන්ම තියෙනවා

     මේ කතාව සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරිම ඔබ සතුයි.

     එදා වෙලාව හරියටම රෑ 11 යි.  අපේ තාත්තා මට කතා කළා පොඩි ගමනක් යන්න එන්න කියලා. මමත් ඉතින් ඉක්මනට ෂර්ට් එකක් දාගෙන තාත්තත් එක්ක ගියා. අපි ගියෙ අපේ ලොකු අම්මලගෙ කෑම කඩේට. අපි යනකොට කඩේ වහල ඇතුල ඒකෙ වැඩ කරන අය අස් කරනවා. 

ඇයි තාත්තේ මේ වෙලාවේ කඩේට ආවේ ? මම ඇහුවා.

මේ කඩේ වැඩ කරන කෙනෙක්ට අද රෑ එකොළහ මාරට භූතයක් වැහෙනවා කිව්වලු

මොකක්? භුතයෙක් ?

ඔව්. මාත් ආවෙ ඒ මොකක්ද කියලා බලන්න තමයි.

මම කඩේ ඇතුලට ගියා. ඇතුලෙ කට්ටිය ගොඩ දෙනෙක් වට වෙලා බලාගෙන ඉන්නවා.  මැද්දේ පුටුවක වාඩිවෙලා ඉන්නවා අවුරුදු විස්සක තිහක විතර කෙට්ටු කළු මනුස්සයෙක්. මම දැක්ක ගමන් ඒ මනුස්සයව අඳුනගත්තා. ඒ කඩේ කෑම උයන කෙනා. නම වසන්ත. මාතලේ පැත්තේ ඉදං ආපු කෙනෙක්.

     ලොකු අම්මත් පැත්තක පුටුවක වාඩි වෙලා හිටියා. මම ගිහින් ඇහුවා මොකක්ද සිද්ධිය කියලා.
අද උදේ තමයි වුණේ. උදේ එකොළහට විතර මේ මිනිහා කුකින් රූම් එක පැත්තේ ඉදං කෑගහන්න පටන් ගත්තා මෙහෙ වරෙං..... මොහ වරෙං..... කියලා. අපි ඔක්කොම ගිහින් බැලුවා. මේ මිනිහා ආරූඪ වෙලා කියවනවා. මොනාද මන්දා කියවගෙන ගියා අපිට තේරුණේ නෑ.

ඊට පස්සේ ?

ඊට පස්සේ විනාඩි දෙකු තුනකින් කියවන එක නතර වුණා. හැබැයි නතර වෙන්න කලින් කිව්වා මම ආයෙත් රැ එකොළහ මාරට එනවා කියලා. හැබැයි මේ මිනිහට මුකුත් මතක නෑ.

ඒකද මේ එකොළහ මාර වෙනකං බලාගෙන ඉන්නේ?

ඔව්. මොකක්ද මේ අවුල කියලා බලාගන්න එපෑ

     මමත් ඉතින් බලං හිටියා එකොළහ මාර වෙකනං. එතන ඔරලෝසුවක් වත් නෑ වෙලාව බලාගන්න. මම ඔය භුත කතාව කලින් දන්නවනම් මම කැමරාව අරං එනවා වැඩේ වීඩියෝ කරන්න. එකත් කොහොම කොහොම හරි කරන්න බැරි වුණා.

මං නං හිතන්නේ මේක අරූගෙ බොරුවක් වෙන්න ඇති. මං දන්නවනේ ඕකගෙ හැටි කඩේ කෑම උයන නාදන් කියලා දෙමළ කෙනෙක් හැමෝමත් එක්ක කිව්වා.

මට වුනත් පුලුවන් ඕන්නං ඔය විදිහට රඟපාන්න. මේක ෂුවර් එකටම මුගෙ මරුසියක් 

     නාදන් කියන ඒවා වසන්ත නම් ගනං ගත්තේ නෑ. ඔය වෙලාවේ අපේ ලොකු අම්මා එයාගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලල මෙහෙම කිව්වා.

දැන් වෙලාව එකොළහයි තිස් පහයි. කෝ තාම භුතයා නෑනේ.

මෙහෙම කිව්වා විතරයි වසන්ත ගේ ඇස් එකපාරටම ලොකු වුණා. ඉදං හිටපු පුටුවෙන් නැගිට්ටා.

මම ආවා බොලව්. මම ආවා මහ හයියෙන් කැ ගහලා කිව්වා. එහෙම කියපු පාරට වටේ හිටපු කට්ටිය බය වෙලා පස්සට ගියා.

     ඔය අතරෙදි අර නාදන් කෑ ගහගෙන බිම ඇදගෙන වැටුණා. එයාගේ කටින් සෙම බේරෙනවා. මහ වේදනාවෙන් දෙමළෙන් කෑගැහුවා. බෙල්ල අතින් අල්ලගෙන අමාරුවෙන් තමයි කෑගැහුවෙ. වසන්ත වටේ හිටපු කට්ටිය ඔක්කොම නාදන් ගාවට ගියා.

මොකද මේ එක පාරටම වුණෙ නාදන්?

අනේ මහත්තයෝ මගේ බෙල්ල කවුද තද කරනවා. මට හුස්ම ගන්න බෑ......... නාදන් අමාරුවෙන් වචනයක් ගොතාගෙන කිව්වා.

ඔය තියෙන්නේ ඔය මිනිහගෙ දඩුවම........ මම තමයි එහෙම කළේ........... කට පරිස්සම් කරගෙන හිටියනං ඕක වෙන්නේ නැහැ. වසන්න කිව්වා.

‍මොනා හරි කරලා මේ මිනිහව හොඳ කරන්න.... නැත්තං මෙයි මැරෙයි ළඟ හිටිය කවුද මන්දා කිව්වා.

     ඊට පස්සේ වසන්ත වැටිල හිටිය නාදන් ගාවට ගියා. මොනාද මන්දා මන්තරයක් විනාඩි දෙක තුනක් කිව්වා. කියලා බෙල්ල වටේ අත අරන් ගියා. මාර පුදුමයක්. ඒ වෙලාවේ නාදන්ට මුකුත් වුණේ නෑ වගේ හොඳ වුණා. ඊට කලින් තමන්ගේ බෙල්ල හිරවෙලා තිබුණ වගක් වත් එයාගෙන් පෙනුනේ නෑ.

මම මාතලේ අහවල් පන්සලේ (පන්සලක නමක් කිව්වා) ලොකු හාමුදුරුවෝ. මම අපවත් වුණේ මීට අවුරුදු දහයකට විතර කලින්. මම දැන් කතරගම දෙයිහාමුදුරුවෝ ගාව තමයි වැඩ ඉන්නේ වසන්ත කියවගෙන ගියා.

     ඔය කතාව අහලා ළඟ ඉන්න ඔක්කොම කට්ටිය පුදුම වුණා.

ඉතින් ඇයි ඔබතුමා වසන්තගේ ඇඟට වැහිලා ඉන්නේ? කඩේම වැඩ කරන තව කෙනෙක් ඇහුවා.

මේ පින්වතාගේ තාත්තා අපේ පන්සලේ හොඳ දායක මහත්තයෙක්. ඒයා මියපරලොව ගියාට පස්සේ එයාගේ පරපුරේ කෙනෙකුට ඉන්නේ මේ උපාසක ඇත්තෝ විතරයි. මේ වගේ දේව වරමක් ලේසියෙක් කාටවත් ලැබෙන්නේ නෑ.

     ළග හිටපු අය පුදුම වෙලා බලං ඉන්නවා.  හැබැයි එක්කෙනෙක් වත් ළඟට යන්න බයයි. මටත් ඉතින් ඒ වලාවෙ ළඟට යන්න බට හිතුනා. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට වසන්ත මෙහෙම කිව්වා.

මට මේ ළඟ තියෙන පන්සලට යන්න ඕනෙ. මාව එක්කං පලයං පන්සලට........

     එතකොට වෙලාව රෑ දොළහට විනාඩි පහක් විතර ඇති. මේ වෙලාවට මොන පන්සල්ද? ඒත් කරන්න දෙයක් නෑ. එක්කන් යන්නම වෙනවා. ඒක හින්දා කඩේ තිබ්බ වෑන් එකකට එයාව නග්ගගෙන පන්සලට අරං ගියා.

     පන්සල ගාවට යනකොට පන්සලේ බලු බල්ලෙක් නෑ. ගේට්ටු ඔක්කොම වහල. ඒ පැත්තෙන් යන්න බෑ. ඉට පස්සේ පන්සලේ අනිත් පැත්තෙන් එයාව පන්සල ඇතුලට එක්කගෙන ගියා.

     පන්සල ඇතුලෙදි පිස්සුවෙන් වගේ ඇවිද්ද එයා අන්තිමට නතර වුණේ පන්සලේ කතරගම දේවාලේ ගාව. එතනට ආපු ගමන් කළේ එතන බඩගාලා දේවාලෙට වැඳපු එක. ඊට පස්සේ දෙමළෙන් මොනාද මන්දා කියවන්න පටන් ගත්තා.  එහෙම කියවලා ඉවර වෙලා එතනින් හිමීට නැගිට්ටා. එතකොට අර ආවේස ගතිය තිබුණෙ නෑ. මුකුත් කතා කළෙත් නෑ.

දැන් මොකෝ වසන්ත? එතන හිටපු කෙනෙක් ඇහුවා.

ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?.... මම මේ කොහෙද ඉන්නේ? ..........දැන් වෙලාව කීයද?.......

වසන්ත ඔය වගේ ප්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තා. එතනින් පස්සේ ඉතින් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය විදියට එතන ඉඳන් වසන්ත වැඩ කරන්න ගත්තා. ඒත් පහුවෙනිදා උදේ වෙනකන් විතරයි.

     මේ සිද්ධිය ගැන මගේ පරීක්ෂණ තාම ඉවර නෑ. ආයෙත් පාරක් මිනිහට භුතයා වැහෙනවා කියලා ආරංචි වුනොත් මම අනිවා ඒක වීඩියෝ කරලා ඕගොල්ලන්ට පෙන්නනවා. අදට සමුගමු.

     මේක කියවන ඕගොල්ලන්ටත් මේ සිද්ධිය ගැන අදහස් ඇති. මම නම් හිතන්නේ මේක අරුන් දෙන්නා එකතු වෙලා රඟපෑව නාට්‍යයක් කියලා. ඕගොල්ල‍න්ගේ අදහසුත් පහල කමෙන්ට් කරලා යන්න..

Monday, August 6, 2012

දහම් පාසල් අරං ගිය ෆෝන් එක


       ඉස්කෝලෙ නිවාඩුවත් පටන් ගත්තා. දැන් ඉතින් මාසයක් ම තියෙනවා.  ඒත් නිවාඩුව පටන් අරං දවස් දෙකයි ගියේ. මාව තව ඩිංගෙං අපේ දහම් පාසලෙන් අස් කරනවා.  මේකයි සිද්ධ වුණේ.
   
      මේ ඉරිදා, ඒ කියන්නේ 2012 අගෝස්තු 5 වෙනිදා අපේ දහම් පාසලේ නිවාඩු දෙන දවස. මම ශිෂ්‍ය නායකයෙක් හින්දා උදෙන්ම දහම් පාසලට යන්න ඕනෙ. උදේ හයහා මාරට විතර එදත් මං දහම් පාසලට ගියා. දෙතුන් දෙනෙක් ඇවිල්ලා හිටියා. මම ඉතින් ඔහේ කම්මැලිකමේ හිටියා දහම් පාසල පටන් ගන්නකං හතහමාර වෙනකං. 

    හැබැයි එදා දහම් පාසල පටන් ගත්තේ වෙනදා වගේ නෙමෙයි. වෙනදට උදේ රැස්වීම තියෙන තැන නෙමෙයි එදා රැස්වීම තිබුණෙ. අළුතෙන් හදපු දහම් පාසල් ගොඩනැගිල්ලෙ තමයි රැස්වීම තිබුණෙ. එදා කෙරුවෙ හැම පන්තියකින් ම පළවෙනියා, දෙවැනියා, තුන්වැනියා ගත්ත අයට රිපෝට් එක දෙන එක. අපිට ළමයි ටික බලාගන්න භාර වුණා. මට ඉතින් සුපුරුදු පරිදිම ලැබුණෙ 9 වසර බලාගන්න. පන්තියෙ තුන්වැනියා හින්දා මමත් මගේ රිපෝට් එක ඉස්සරහට ගිහින් අරගෙන රැස්වීම ඉවර වුණාට පස්සේ එතන පොඩ්ඩක් අස් කරන්න උදව් කරලා අපේ පන්තියට ආවා.

    එදා අපේ පන්තියේ පිරිමි ළමයි ඇවිල්ලා හිටියෙ මාත් එක්ක හතර දෙනයි. මං විතරයි එතන ශිෂ්‍ය නායකයෙක්ට හිටියෙ. ඔන්න ඉතින් මං පන්තියට වෙලා අපේ පන්තියෙ එවුන් එක්ක පන්තියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා. ඔහොම ඉන්නකොට Head Prefect ඇවිල්ලා මට කතා කරගෙන එක්කරගෙන ගියා රැස්වීමක් කියලා. රැස්වීමෙදි කිව්වේ මේකයි.

අද මේ දහම් පාසලට කවුරු හරි ෆෝන් එකක් ගෙනල්ලා කියලා ආරංචියක් තියෙනවා. ඒ හින්දා ලොකු හාමුදුරුවෝ කිව්වා ඔක්කෝම පන්ති චෙක් කරන්න කියලා. දැන් ඉතින් ඔක්කොම තමන්ට භාර දීල තියෙන පන්තියට ගිහිල්ලා ඒකෙ ඉන්න අයවයි ඒගොල්ලන්ගෙ බෑගුයි චෙක් කරන්න ඕනෙ. මොනවහරි තිබුනොත් ඒක ගෙනාව කෙනාව අපිට කියන්න ඕනෙ. එකෙක්වත් උන්ව රකින්න ලෑස්ති වෙන්න එපා. අපි එනවා හැම පන්තියකටම බලන්න. දැන් යන්න

    ඔන්න ඔය වෙලාවෙ තමයි මතක් වුණේ අපේ පන්තියෙ ඉන්න මගෙ ලක්ෂාන් කියලා මගෙ යාලුවෙකුත් අද ෆෝන් එක අරං ආවා කියලා. දැන් ඉතින් ඌව හදිස්සියෙ හරි අහුවුනොත් ඌ ඉවරයි. මං කියලා මොනා කරන්නද? මමයි තව 10 වසරෙ මල්ලි කෙනෙකුයි තව කෙල්ලො දෙන්නෙකුයි ගියා 9 වසරෙ පන්තිය චෙක් කරන්න. අපේ පන්තිය තියෙන්නේ 9 වසර පන්තිය එහා පැත්තේ. මං යනකොට අපේ පන්තියට කවුරුත් ඇවිල්ලා හිටියෙ නෑ. මං හිමීට පන්තියට ගිහින් ලක්ෂාන්ට කතා කරලා කිව්වා වෙන්න යන සීන් එක ගැන. ඒක අහලා ඌ මෙන්න මෙහෙම කිව්වා.

අඩෝ මේ...... මචං උඹ ශිෂ්‍ය නායකයෙක්නේ බං... උඹ තියාගනින්කෝ බං ෆෝන් එක..... මොකක්ද බං........

    දැන් ඉතින් බෑ කියලත් බෑ හා කියලත් බෑ. මොනවා කරන්නද? මට ගොඩක් උදව් කරලා තියෙන එකෙක්නේ. මං ෆෝන් එක ඉල්ලගත්තා මගේ බෑග් එකේ දාලා ඒක ඔෆිස් එක එහා පැත්තේ තියෙන කාමරෙන් ගෙනිහින් තියනවා කියලා. (ගොඩක් prefect ලා උදෙන්ම එන හින්දා බෑග් එක තියන්නේ එතන) මං මගේ බෑග් එක අරගෙන ඒකෙ තියෙන සයිඩ් පොකට් එකක් ඇරියා ‍ෆෝන් එක දාන්න කියලා. මල ජූලියයි! මගේ ‍ෆෝන් එකත් බෑග් එකේ. සෙනසුරාදා පන්ති ගිහින් පන්තියෙදි බෑග් එකට දාගත්ත ෆෝන් එක තාම බෑග් එකේ. දැන් ෆෝන් එකක් නෙමෙයි දෙකක්.

    ඉතින් මං බෑග් එක අර කාමරෙන් දාලා 9 වසර පන්තිය චෙක් කරන්න ආවා. ඒකෙ ඉන්න ඔක්කොම එවුන් උන්ව චෙක් කරනකොට හිනා වෙනවා.  බෑග් චෙක් කරනකොට එකෙක්ගේ බෑග් එකේ තියලා රීචාර්ජ් කාඩ් 50ක් විතර හම්බ වුණා. තව එකෙක්ගේ සයිඩ් පොකට් වල තියලා ලියුම් දෙක තුනකුත් හම්බ වුණා. ලියුම් වලින් මට අපල හින්දා ඒවත් දැක්කේ නෑ වගේ හිටියා.  පව් වැඩේ පොඩි එවුන්නේ. අපිට කිව්වේ ෆෝන් එකක් හොයන්න කියලනෙ.

    පන්ති ඔක්කොම චෙක් කලත් ෆෝන් එකක් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ශිෂ්‍ය නායකයන්ගේ බෑග් චෙක් කරන්න කිව්වා. ඔන්න ඒ වෙලාවේ තමයි මට තිස් තුන් කෝටියක් දෙයියෝ සිහිවුනේ. ඔක්කෝටම බෑග් අරන් එන්න කිව්වා අර ඔෆිස් ක‍එක එහා පත්තේ තියෙන රූම් එකටම. බෑග් එක පන්තියෙ තිබුනනං ලක්ෂානයට වත් ෆෝන් එක සොරි සොරි ෆෝන් දෙක දෙනවා තියාගන්න කියලා. කොහෙද දැන් බෑග් එක රූම්එක ඇතුලෙම තියෙනවා. අපිව චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අපේ බෑග් චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මාව චෙක් කරන ගමන් මගේ බෑග් එක චෙක් කරන දිහාත් මං බලං හිටියා. බෑග් එක අරගෙන පොත් අස්සෙයි තව තියෙන පොකට් දෙක තුනකයි චෙක් කරලා බැලුවා. ෆෝන් එක තියෙන පොකට් එක අරින්න හදන කොට ම හාමුදුරුවෝ ඒ අක්කට කතා කළා. හාමුදුරුවෝ ඒ අක්කව මොකක්ද වැඩකට යැව්වා. ඊ‍ට පස්සේ ආයෙත් ආවට මගේ බෑග් එක චෙක් කළේ නෑ. අනිත් එවුන්ගේ බෑග් චෙක් කරන්න ගත්තා. හාමුදුරුවෙනං ඇත්තටම දෙයියෙක්.

    එදානං මගේ වසනාවට එහෙම වුණේ. ෆෝන් එකක්නං කමක් නෑ දෙකක්! මාට්ටු වුනොත් කොහොමට හිටීද?  

Thursday, July 26, 2012

ෂර්ලොක් හෝම්ස්

මට මේ සිද්ධිය වුණේ මම 8 වසරෙදි. අද වගේම ඒ කාලෙත් මට ෂර්ලොක් හෝම්ස් පිස්සුව තිබුණා. ෂර්ලොක් හෝම්ස් කතා කියවලා කියවලා මට මාර ආසාවක් තිබුණා රහස් පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒ කාළෙ මම තමා ෂර්ලොක් හෝම්ස්. මගේ බල්ලා "රැන්කි" තමයි වොට්සන්. (හැබැයි ඒ වොට්සන් මගෙන් සදහටම සමු ගත්තා 2011 දෙසැම්බර් 31 වෙනිදා. එයා මැරුනෙ එයාට වයස අවුරුදු 4 දි) මට කවදාවත් පරික්ෂණයක් භාර දෙන්න කවුරුත් ආවෙ නෑ. මාත් බලන් හිටියා පරික්ෂණයක් එනකන්. කවදාවත් ආවෙ නෑ.


ඔන්න දවසක් මෙහෙම වැඩක් වුණා. අපේ ගෙදරට එහා පැත්තේ තමයි අපේ ලොකුඅම්මලාගෙ ගෙදර තියෙන්නේ.  තාප්පෙන් තමයි අපේ ගෙදරයි ඒ ගොල්ලන්ගේ ගෙදරයි වෙන්වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට ටිකක් සල්ලි තියෙනවා. මේ තලවතුගොඩ පැත්තේ අයනං දන්නවා ඇති "රසරැස ෆුඩ් සෙන්ටර්" එක. අන්න ඒක ඒගොල්ලන්ගේ. තව කොට්ටාව - බොරැල්ල රූට් එකේ දුවන බස් 2කුත් තියෙනවා. ලොකු අම්මට ළමයි 3ක් ඉන්නවා. තුන්දෙනාම දැන් ලොකුයි. කසාදත් බැඳලා. ඒගොල්ලන්ගේ ගෙදර එක පුතෙකුයි දුවෙකුයි නතර වෙලා ඉන්නවා. අනිත් දුව ඉන්නෙත් අපි වගේ ලොකු අම්මලාගේ ගෙදර ගාවමයි. ඉතින් මම කතාව කියන්නම්. එක දවසක් රැ 1 ට විතර ලොකු අම්මලාගේ ගෙදරින් අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒගොල්ලො කිව්වේ මේකයි. අර එහෙ ඉන්න අයියට (ඒ කියන්නේ ලොකු අම්මගෙ පුතාට) ඇහිලා තියෙනවා මනුස්සයෙක් ඇවිදින අඩි සද්ද. ‍ගේ වටේම ඇවිදිනවා ඇහිලා තියෙනවා. එයා ටික වෙලාවක් ඒක අහගෙන ඉඳලා කාටවත් කියන්නේ නැතිව හිමීට ගෙදරින් එළියට ඇවිල්ලා හැංගිලා බලන් ඉදලා තියෙනවා කවුරුත් ඉන්නවද කියලා. කාවවත් එයා දැකලා නැති හින්දා අපේ ගෙදරට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ අර ආපු එකා අපේ ගෙදර පැත්තටවත් ආවද බලන්න කියලා. අපිත් ඉතින් බැලුවා. මොකෙක්වත් නෑ.


ඉතින් පහු වෙනිදා උදේ ඔය ගැන කතා කළාට හැමෝටම හවස් වෙනකොට ඒක අමතකයි. ඒත් මට අමතක වුණේ නෑ. එදා රෑ නිදා ගන්න ගිය වෙලාවට මතක් වුණේ ඒක. හදිද්සි‍යෙ හරි හොරෙක් ආවොත් ඌට කරන දේ ගැන හිත හිත ඉතින් මාත් හිටියා.


රෑ 12ට විතර ඇති. එකපාරටම අපේ බල්ලා බුරන්න පටන් ගත්තා. පාරෙ ඉන්න බල්ලොත් බුරන්න පටන ගත්තා. මම හිතුවා හරි තමා අදත් අර යකා ඇවිල්ලා තමා කියලා. ඉතින් මට මෙහෙම හිතුනා. මොන කරුමෙ‍කට එහෙම හිතුනද දන්නේ නැහැ. කොහොම හරි හිතුනා. ඒ මොකක්ද දන්නවද? ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රමේකට ඒ හොරාව අල්ලන්න.


මම මුලින්ම කළේ ටෝච් එකක් අරගෙන හිමීට කාමරේ ජනේලෙ ඇරලා එළියට පැනපු එක. ඊට පස්සේ අපේ බල්ලගේ බලු කූඩුව ළඟට ගිහින් හිමීට ඒක ඇරලා වොට්සන් ව එළියට ගත්ත එක. ඒත් හැබැයි ඌ බිරිල්ල නැවැත්තුවේ නැ. 


"රැන්කි කට වහ ගන්නවා" මම රහසින් වගේ කිව්වා. ඊට පස්සේ ඌ බිරිල්ල නැවැත්තුවා. මම මහ ලොකුවට එළියට ආවට දැන් කරන්න දෙයක් මතක් වුණේ නෑ. මොනා කරන්නද? කරුමෙට ඒ වෙලාවෙවත් මට ආයෙ ගෙදරට ගිහින් නිදා ගන්න හිතුනෙ නෑ. මට වාසියකට තිබුණෙ මම හොල්මන් වලට බය නැති එක. අනේ මන්දා මට තාමත් ඔය හොල්මන් කතා වලට බය හිතෙන්නේ නැ. මගේ ඇ‍ඟේ තියෙන හෝර්මෝන අවුලක්ද දන්නේ නැහැ. හොල්මන් වලට බය හිතෙන්නේ නැහැ. මම ඊට පස්සේ කළේ ටිකක් ලොකු යකඩ පොල්ලක් ගන්න එක. ඒකත් අරගෙන ලොකු අම්මලගෙ ගෙදර තාප්පේ ගාවට ගියා. 


දැන් කොහොම හරි වොට්සන් වත් අරගෙන එහා පැත්තට පනින්න ඕනෙ. තාප්පෙ එච්චර උස නෑ. අඩි 5ක් විතර ඇති. මට ඒකෙන් පනින්න පුළුවන් වුණාට වොට්සන්ව ගන්න විදියක් නෑනේ. ඉතින් මම කළේ තාප්පේ ගාව තියෙන පේර ගහට නැග්ගා වොට්සන්වත් අතින් අල්ලගෙන ඇඟට තදකරගෙන. (ඒ වෙලාවෙ ඌට රිදෙන්න ඇති. ඒත් ඌ කෑගැහුවෙ නෑ) ඊට පස්සේ තාප්පේ අතින් අල්ලගෙන හිමීට සද්දයක් එන්නේ නැති වෙන්න එහා පැත්තට පැන්නා.


වොට්සන් ගෙ තිබුනු එකම ප්‍රශ්නෙ තමයි වලිගෙ වනන එක. ඌ මොනවා කරන්නද ඌට නවත්තගන්න බෑ වලිගෙ වැනෙන එක. ඔය වලිගෙ තාප්පෙ වදිද්දි ආපු සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් ආවෙ නෑ.
දැන් කරන්න දෙයක් නෑ. හොරාව අල්ලන්න යන්න ඕනෙ. මම හිමීට ගේ ඉස්සරහ පැත්තට ගියා. වොට්සනුත් මගේ පස්සෙන් ආවා. චන්ඩියා වගේ මුලින් ආවට දැන්නම් ටිකක් බය හිතුනා. ඒත් ෂර්ලොක් හෝම්ස් ව මතක් කරගෙන බය නැති කර ගත්තා.


මම ටික ටික ඉස්සරහට ගියා. එක පාරටම වොට්සන් ඉව අල්ල අල්ල ගොරවන්න පටන් ගත්තා. මම හිතුවා හරි තමා ඇන් අර මිනිහා මේ ළඟම ඇති කියලා. මම අර යකඩ පොල්ල අතට අරගෙන ලෑස්ති වුණා. මූ ළඟට ආවොත් මැරෙන්න හරි ගහනවා කියලා.  මම චුට්ට චුට්ට ඉස්සරහට ගියා. වොට්සන්ගෙ ගෙරවිල්ලත් එන්න එන්නම වැඩි වුණා. මටත් ටිකක් බය හිතුණා. 


මම ටික ටික ඉස්සරහට ගියාට දැන්නම් ලොකුඅම්මලාගේ ගෙදර ඉස්සරහ දොර ගාවටම ඇවිල්ලා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි එක පාරටම මගේ ඇඟට මිනිහෙක් කඩා පැන්නා. වොට්සන් එක පාරටම අර මිනිහගේ ඇඟට බුරාගෙන පැන්නා. රැන්කි හිටියෙ නැති වෙන්න එදා මට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒත් එක පාරටම අර මගේ ඇඟට පැන්න මිනිහා මට කතා කළා. කලුවරේ හරියට මූණ පේන්නෙත් නැ.
"මොනාද මල්ලි මේ කරන ගොන් වැඩ. තව ඩිංගෙන් අතක් පයක් කඩාගෙන ගෙදර යන්නේ."
ඒ කටහඬ ඇහුවම මට හිතිච්ච දේවල් කියන්න වචන නැ. ඒ තමයි ලොකු අම්මගේ පුතා! එයත් එදා රැකගෙන ඉඳලා ගෙදරට එන හොර අල්ලන්න.


ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න දෙයක් නෑ. ගෙදර ගිහිල්ලා අම්මගෙනුයි තාත්තාගෙනුයි නොසෑහෙන්න බැනුම් ඇහුවා. මට කාලයක් යනකං ගෙවල් පැත්තේ කට්ටිය කතා කළේ "ෂර්ලොක් හෝම්ස්" කියලා. අපේ බල්ලා ට කිව්වේ "වොට්සන්" කියලා. දැන්නම් ඒ නම කවුරුත් නොකිව්වට සමහර වෙලාවට සමහර අය තාමත් මට "ෂර්ලොක් හෝම්ස්" කියලා කතා කරන වෙලාවල් තියෙනවා.


ඒ වුණාට තාම මට තියෙන ප්‍රශ්නයත් තියෙනවා. අර එදා මුල්ම දවසේ එහෙට ආවෙ කවුද? (අර අඩි සද්ද එහෙම ඇහුනේ) සමහර විට අර අයියට ඇහිච්ච ශ්‍රව්‍ය මායාවක්ද දන්නේ නැහැ.

Sunday, July 22, 2012

"අරයත්" එක්ක මලෙන්ද?


       මේ සිද්ධිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක වුණු සිද්ධියක් ලු. ඔන්න මේ ළගදි දවසක ඒ ඉස්කෝලේ කස්ටියට නෙට් බෝල් ගහන්න ඕන වුණා ලු. ඒ වුණාට නෙට් බෝල් කෝට් එකක් නෑ ලු. හදන්න සල්ලිත් නෑ ලු. ඔන්න ඉතින් කස්ටිය ලෑස්ති වුනාලු නාට්ටියක් පෙන්නලා නෙට්බෝල් කෝට් එක හදාගන්න සල්ලි එකතු කරගන්න. ඔන්න ඉතින් කොහොම කොහොම හරි නාට්ටියකුත් හොයා ගත්තලු පෙන්නන්න. නාට්ටි විතරක් පෙන්නලා මදි. අපි සෝනියර් එකකුත් ගහමු. ඉස්කෝලේ පින්සපල්ලාගෙන් එක්කෙනෙක් කිව්වලු.
        නාට්ටියට ඇඩ් හැම පන්තියකම හැම ළමෙක්ම දෙන්න ඕනෙ කියලා අනිවාර්ය කරලා නීතියකුත් දැම්මලු. දෙමව්පිය රැස්වීම් තියලා කිව්වලු ඉස්කෝලෙට නෙට්බෝල් ගහන්න ඕනෙ ඇඩ් ටික කොහොම හරි දෙන්න කියලා. ඉතින් අහිංසක දෙමව්පියොත් “අපේ ළමයත් ඉතින් නෙට්බෝල් ගහයිනේ” කියලා කොහොම හරි අමාරුවෙන් රුපියල් 1500ක A5 පිටු කාලේ ඇඩ් එකක් හරි දුන්නලු.
       හරි කතාව පටන්ගන්නේ මෙතන ඉඳන්ලු. ඉතින් ඇඩ් හම්බ වුණාට ඩිසයින් කරගන්න විදියක් නෑලු. ඇඩ්වර්ටයිසින් කම්පැණි එකකට දුන්නොක් ලක්ෂ 4ක් විතර ගන්න ඇඩ් ලු. ඉතින් ඒකත් කොහොම හරි ඉස්කෝලෙ ළමයින්ටම කියලා කරගන්නවා කියලා ඉස්කෝලෙ හෙඳ මිස් කෙනෙක්ට වැඩේ භාර දුන්නලු. ඉතින් ඉස්කෝලේ ඉන්න කම්පියුටර් වැඩ කෑලි දන්න ළමයි ටිකක් එකතු කරගෙන වැඩේට බැස්සලු. ඉස්කෝලෙ ඉන්න නියෝජ්‍ය පින්සිපල්ලා දෙන්නගෙන් එක්කෙනෙක් මේ කට්ටියට හොදට උදව් කලාලු. හැබැයි අනිත් එක්කෙනා මේකේ හරහට මොකක් හරි කොස්සක් ගහනවලු. ඒ පින්සිපලුත් එක්ක එක්කෙනෙක් “මලෙන්” ඉන්නවා කියලා ළඟදී දවසක ඉස්කෝලෙනුත් අස් කලා ලු.
       ඉතින් ඒ ඉස්කෝලේ 11 වසරේ ළමෙක් හිටියලු සිංහල ටයිප් කරන්න දන්න. එයාවත් ඉතින් අර ඇඩ් හදන වැඩේට ගත්තලු සිංහල දන්න නිසා. ඉතින් ඇඩ් හදන හැමෝම ඉස්කෝලෙ වෙලාවෙත් ඉස්කෝලෙන් පස්සෙත් රෑ 7-8 විතර වෙනකන් ඉඳලා ඇඩ් හදලා යනවලු. ඒ ඉතින් ඉස්කෝලෙට තියෙන ආදරේටලු.
       ඔන්න අර 11 වසරේ ළමයත් ඉස්කෝලේ වෙලාවේ වැඩ පාඩු කරගෙන ඉඳලා හවසත් ඉඳලා 4ට විතර එයාට පන්ති තියෙන නිදා ගෙදර යන්න ඉස්කෝලේ ගේට්ටුව ගාවට ගියාලු. එකපාරටම ඉස්කෝලේ සික්කා එයාව අල්ල ගත්ත ලු.
“මේ..... තමුසෙට අන්න ප්‍රින්ස්පල් සර් කතා කරනවා. එනවා යන්න.......’’ මූණ පුරා රැවුලක් තිබ්බ සික්කා කිව්වලු.
“අනේ අංකල් මේ විහිළු කරන්න එපා.........මට පන්ති තියෙනවා යන්න දෙන්න.....” අර ළමයා කිව්ව ලු.
“නෑ..නෑ මෙහෙ එනවා යන්න” කියලා අර ළමයව පින්සිපල් ගාවට අරන් ගියාලු නිකන් කුඩු කාරයෙක්ව පොලිසියට අරන් යනවා වගේ.
පි = පින්සිපල් / ළ = ළමයා
පි : තමුතෙ අද මුලු දවසෙම පන්තියේ හිටියෙ නෑ නේත?
ළ : නෑ සර්.....
පි : ඇයි ඕයි තමුතෙ පන්තියේ හිතියෙ නැත්තෙ?
: සර් අර ඇඩ් හදන වැඩේ ට................
පි : ඇත් හතන්න තමුතෙ??? තමුතෙ ඉගෙන ගන්නේ නැත්ත ඕයි. තමුතෙ කාගෙන් අහලත ඕයි ඇත් හතන්න ගියෙ?
ළ : සර් කරුණානායක සර් අත්සන් කරලා ලියුමක් දුන්නා.......
පි : කලුතාරත්න ද ඕයි තමුතෙගෙ විබාගෙ ලියන්නේ?
ළ : ඉතින් සර් මේ මම ඉස්කෝලෙට උදව්වක්.......
ඒ වෙලාවෙම ඒ ළමයගේ උඩ සාක්කුවේ  තියෙන “පෙන්” එක පින්සිපල් දැක්කලු.
පි : මොනාත ඕයි ඔය සාත්තුවෙ තියෙන්නේ?
ළ : සර් ඒ පෙන් එක........
පි : පෙන් එක....... තමුතෙලා ඕවයෙ දාලා මොන කුණුහරුප ගේනවත දන්නේ නෑ. දානවා බලන්න ඔය තීන කොම්පීතරේත පෙන් එක.
අර ළමයා කම්පියුටර් එකට පෙන් එක ගැහුවලු.
පි: මොනාත ඕකෙ තියෙන්නේ?
ළ : සර් මේ අපි හදන ඇඩ් ටික තමයි තියෙන්නේ
පි : කෝ ඉතින් පෙන්තනවා  බලන්න ඇත්?
අර ළමයා පෙන් එක කම්පියුටරේට ගැහුවට පස්සේ AutoRun වුණාම පෙන් එක ඕපන් කරා ලු.
පි : ඕතෙ වයිරත් එහෙම තීනවද?
ළ : සර් වයිරස් නම් ඇති සර් මොකද මේ පෙන් එක ලැබ් එකේ තියෙන කොම්පියුටර් හැම එකකටම වගේ ගහනවනේ.
පි : තමුතෙ ඕක දැන්ද ඕයි කියන්නේ?...........................හරි කමත් නෑ.
ළ : සර් ඇඩ් ටික තියෙනවා... ඒත් මේකේ ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරලා නෑනේ. ඒක හින්දා මේ පී එස් ඩී එක්ස්ටින්ෂන් එකෙන් තියෙන ෆයිල්ස් ඕපන් කරන්න බෑ.
පි : මොනවා..... පොතෝතොප් නෑ. බලනවා බලනවා ඔය කොහෙහලි ඇති.
ඊට පස්සේ අර ළමයා ළඟ තියෙන කබඩ් ලාච්චු ඇරලා බැලුවලු හැමතැනම.
පි : තමුතෙ ඔය මොනාත හොයන්නේ?
ළ : සර් මේ.... ෆොටෝෂොප්.......
පි : තමුතෙ මාව විහිළුවකත ගත්තද? ඈ ඕයි?
ළ : සර් ඉතින් මේකේ ෆොටෝෂොප් නෑනේ.
පි : එහෙනම් තමුතෙ හෙත පොතෝතොප් දාලා දෙන්න ඕනෙ මත.
ළ : හරි සර්....
ඉතින් එදා ළමයා ගෙදර ගියාලු. ඔන්න ඕකලු ඒ ඉස්කෝලෙ තමන්ගේ පාසල වෙනුවෙන් වැඩ කරන අයට තියෙන තත්වෙ.