Pages

Friday, June 29, 2012

අන්තිම පීරියඩ් එකේ කඩාපාත් වුණු වාසනාව

අදත් වෙනදා වගේ ම හතහා මාරට ඉස්කෝලේ පටන් ගත්තා. ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නෑ.හැමදාම මුලින්ම තියෙන්නේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි මිස් ඇවිල්ලා කියනවා

 "චිල්රන්ස් ප්ලීස් සී ඇක්ටිවිටී ෆෝ පොයින්ට් වන් ටු. දිස් ඉස් ඩිරෙක්ට් ඇන්ඩ් ඉන්ඩිරෙක්ට් ලෙසන්. අයි ගේව් දිස් ..............."
මට නිකන් මඤ්ඤං වගේ. නිදිමතේ ඔන්න ඔහේ කරලා දැම්මා. හරිද දන්නේ නැහැ.


ඊට පස්සේ තිබුනෙ චිත්‍ර. ඒකටත් බයිලයක් ඇදලා දැම්මා. චිත්‍ර සර් නම් හොදයි. ඒ හින්දා අවුලක් වුණේ නැහැ. ඔන්න ඊටපස්සෙ ආවෙ සිංහල පීරියඩ් එක. ආපෝ ඒකෙනං නිකනුත් නින්ද යනවා. අන්තිමට මම කොහොම හරි ඉන්ටර්වල් එක එනකන් හිටියෙ ඇගිලි ගැන ගැන. ඉන්නවා ඉන්නවා බෙල් එක ගහන්නේ නැහැ. සිංහල මිස් යන්නෙත් නෑ. කෙහොම හරි මං බලාගෙන හිටිය මොහොත ළගා වුණා. ඉන්ටවෙල් බෙල් එක විනාඩි දහයක් පරක්කු වෙලා ගැහුවා. ‍අම්මේ තිබිච්ච සතුට. දුවලා ගියා කැන්ටිමට. කෑම අරගෙන බාගෙට කනකොට ගැහුවා බෙල් එක. ටක් ගාලා ඉතුරු ටිකත් කටේ ඔබාගෙන වතුර ටිකක් බීලා පන්තියට ගියා.


ඊට පස්සේ තිබුණෙ කොමස්. මට එපාම කරපු පීරියඩ් එකක්. සර් ආවා. ආපු ගමන් ඇහුවා මෙහෙම.


"කෝ ගන්නවා බලන්න මම එදා දීපු ගෙදර වැඩේ?"
ඔන්න එතකොට තමයි මටත් ගෙදර වැඩේ මතක් වුණේ.


"ඕයි මේවා කළොත් මට නෙමෙයි ඕයි තමුසෙලට. මේ පාර විභාගෙන අනිවාර්යයෙන්ම වෙළඳ ගිණුමයි ලාභා ලාභ ගිණුමයි ශේෂ පත්‍රයයි එනවා. ළකුණු දහයක ගානක් ඕයි. මේවා මට නෙමෙයි කරොත් තමුසෙලට"
ඔහොම කිය කිය සර් ආවා මගේ ළගට.


"කෝපෙන්නනවා බලන්න තමුසෙගෙ පොත. කෝ යකෝ වැඩ?"


"මේ තියෙන්නේ සර්"


"ආ..... සමාන වුණාද දෙපැත්ත?"


"ඔව් සර්"
සර් ඒක බලලා යන්න ගියා. මම පෙන්නුවේ ඊට කලින් සවසේ සර් කියලා දීපු වැඩේමයි. ගෙදර වැඩට දුන්නෙත් ඒ වගේම ගානක් හින්දා සර්ට ඒක එච්චර මීටර් නෑ.


ඔන්න ඉතින් ඒ පීරියඩ් එකත් නිදි මර ගාතේ ගෙවාගත්තා. ඊටපස්සේ තිබුණෙ ගනං. මම ආසම විෂය. ඒක හින්දා ගනං අවුලක් නැතුව කරගත්තා. හතිවෙනි පීරියඩ් එක ඉතිහාසය. ලියන්න දෙනවා ඉවරයක් නෑ. සර් කියෝනවා අපි ලියනවා.


"ජපානයේ ඒ කාලෙ තිබුනෙ සංවෘත ආර්ථික ක්‍රමයක්.ඒ කියන්නේ වෙනත් රටවල් එක්ක සම්බන්ධතා තියා ගන්න ජපන්නුන්ට බෑ. විශේෂයෙන්ම යුරෝපා ජාතින්ට. ලන්දේසින්ට විතරක් අවුරුද්දකට එක නැවකට එන්න පුළුවන්......................"
ඔහොම දිග කතාවක් කියාගෙන ගියා. එකපාරටම සර් මෙහෙම කිව්වා


"ඔය හතර වෙනි පේලියේ අයිනෙ ඉන්න ළමයා කියන්න බලන්න ජපානයේ සංවෘත ආර්ථික ක්‍රමය විවෘත ආර්ථික ක්‍රමයක් කළේ මොන රාජවංශිකයන්ද කියලා"


මගේ එහා පැත්තේ හිටපු එකා මාව ඇහැරෙව්වා. මට නිකන් හොල්මන් වගේ නින්දෙන් නැගිට්ට ගමන්. හැබැයි හොද වෙලාවට අපේ පන්තියේ කටපියාගෙන ඉන්න බැරි එවුන්ට පින් සිද්ද වෙන්න මම බේරුණා. මම හිතන්නත් කලින් උන් උත්තරේ දිලා ඉවරයි. ඉතින් ඊට පස්සේ  ආයෙත් මට නින්ද ගියෙ නෑ.


ඔන්න ඉතින් ආවා අන්තිම පීරියඩ් එක. ඒකෙදි තියෙන්නේ බුද්ධාගම. හාමුදුරු කෙනෙක් ඉන්නේ උගන්වන්න. මාර වසයි. ඒත් හොඳයි. උගන්නන කො‍ට නම් කම්මැලි නෑ.


ඉතින් හාමුදුරුවොත් උගන්නනවා. මම අහන් ඉන්නවා. ඔහොම විනාඩි 40ක් විතර ගෙවිලා ගියා.එතකොටම මගේ ඉස්සරහ පේළියේ ඉන්න ළමා බෑග් එකකුත් එල්ල ගෙන තවත් බෑග් එකක් අතින් අරගෙන ආවා පන්තියට. එයා වාඩි වුණා මගේ ඉස්සරහ තියෙන ඩෙස් එකේ පුටුවෙන්. අතේ අරගෙන ආපු බෑග් එක මගේ ඩෙස් උඩ තිබ්බා. ඒකෙ ඇතුලෙ තිබුණා අළුත්ම ඩිජිටල් කැමරාවක්. මම හිතුවා ඒ උගේ මොකක් හරි එකක් කියලා. ඒත් මම පස්සෙයි කතාව දැනගත්තේ.


මේ කැමරාව මට හම්බවෙන්න තියෙන එකක්. ඒ මොකද දන්නවද? ඔයගොල්ලො දන්නවද Future Minds තරගය? දැන් ටීවී එකේ ඇඩ් එහෙම යනවා. අන්න ඒකෙන් තිබ්බා ඩිජිටල් ආර්ට් තරගයක්. අන්න ඒකෙන් ලංකාවෙන්ම තුන්වෙනි තැන හම්බවෙලා තියෙන්නේ මට. ඉතින් මට මාර සතුටුයි. හාමුදුරුවො ඒ වෙලාවෙ මටමෙහෙම කිව්වා.
"ආපෝ..... ඔය කැමරාව වැඩක් නෑ. මං ගාව තියෙනවා ඔයිට වඩා හොද කැමරාවක්. ඕක වැඩක් නෑ."
ඊට පස්සේ පන්තියේ ළමයි කිව්වා, "ඒක එයාට ලැබිලා තියෙන්නේ තරගෙකින් දිනලා හාමුදුරුවනේ" කියලා.
"ආ.....ඇත්තද? මම හිතුවා මූ මේක අරූට ගෙනත් දීලා කියලා තරගේ පොටෝ ගහන් එන්න. අම්මටසිරි මූ මෙහෙම හිටියට මාර බඩුවක්නේ."


"මොකටද කොල්ලෝ ඔය තෑග්ග හම්බවුනේ?" හාමුදුරුවෝ එහෙම අහලා කැමරාව අරගෙන බැලුවා.
"මම ෆියුචර් මයින්ඩ්ස් එකට ඩිජිටල් ආර්ට් එකක් දැම්මා. අන්න ඒක ලංකාවෙන්ම තුන්වෙනි තැන වෙලා ඒකට මේ තෑග්ග හම්බ වුණා."
"මරුනේ........ නියමයි..............මේක ගොඩක් වටින කැමරාවක්නේ" හාමුදුරුවෝ කිව්වා'


එකපාරටම කැමරාවක් හම්බ වුණාට මට නම් නිකන් ඒක හීනයක් වගේ. මොකද මම හිතුවෙ නෑ මම යවපු ආර්ට් එකට තුන්වෙනි තැන තියා කුසලතා සහතිකයක්වත් ලැබෙයි කියලා. ඔය ගොල්ලන්ට බලන්න මම ඒ ආර්ට් එක දාන්නම්. ඔය  තියෙන්නේ බලාගන්නකෝ.
පින්තූරෙ ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. කැතයි නම් ඒත් දාලා යන්න.

Tuesday, June 5, 2012

ලියුමක් හින්දා වෙච්ච දෙයක්

මම කාලෙකින් මගේ බ්ලොග් එකට ලියන්න හිතුවෙ මට ළගදි වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්න.  ඕගොල්ලොත් මේ වගේ වැඩ කරනවානම් ටිකක් පරිස්සම් වෙන්න කියලා තමයි මම කියන්නේ. ඔන්න මම වල්පල් කියන්නේ නැතිව කතාව කියන්නම්කෝ.


අපේ පන්තියේ ඉන්නවා ප්‍රමෝද් කියලා මගේ ‍ෆ්‍රෙන්ඩෙක්. ඉතින් එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් (කෙල්ලගේ නම සිත්මිණි) මට දුන්නා ලියුමක් එයාට දෙන්න කියලා. එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එන්නෙ දහම් පාසලට. ඕක දීපු දවසේ ප්‍රමෝද් දහම් පාසල් ආවෙ නෑ. ඉතින් මාත් ඒක අරගත්තා දෙන්නම් කියලා. මම ලියුම ඉස්කෝලෙ බුද්ධාගම පොත අස්සේ  දාගත්තා. ඒත් මට ඒක ප්‍රමෝද්ට දෙන්න අමතක වුණා. කාලයක් ගියාම ඒ දෙන්නාගෙන් කාටවත් ලියුම මීටර් නෑ. ඔන්න දැන් ලියුම මං ළඟ.


ඔන්න ඉතින් දවසක ඉස්කෝලෙ බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ කිව්වා 10 වසරේ හැම පාඩමකින්ම කෙටි ප්‍රශ්න හදන් එන්න කියලා. ප්‍රශ්න හදන් නොගියොත් ඉවරයි. කන්න වෙනවා අම්බානකට. ඉතින් මම එක සිකුරාදා දවසක බුද්ධාගම ප්‍රශ්න හදන්න පටන් ගත්තා. ඔහොම ප්‍රශ්න හදනකොට මට හම්බ වුණා බුද්ධාගම අච්චු පොත අස්සේ තිබුණු අර දෙන්නගේ ලියුම.ඒ දෙන්නගේ කිව්වට සිත්මිණි ලියපු ලියුම. දැන් ඉතින් ඒ ලියුම මං ළඟ තියාගෙන මොකටද? මම ඒ ලියුම කෑලි කෑලි වලට ඉරලා මගේ ඩෙස් එක උඩින් තිබ්බා පස්සේ විසි කරනවා කියලා හිතාගෙන. ඒත් කොහොම කොහොම හරි මට  ඒක විසි කරන්න අමතක වුණා.


පහු වෙනිදා සෙනසුරාදා ලැබුවා. මම ඉතින් හැමදාම ඉස්කෝලෙ යන නිසා සෙනසුරාදා ටිකක් වැඩියෙන් නිදා ගන්නවා. එදත් මම නවය හමාර විතර වෙනකන් නිදා ගත්තා. එක පාරටම අම්මා මාව ඇහැරෙව්වා.
" මොනාද පුතා මේ ඉරලා දාලා තියෙන්නේ?"
අම්මා ඇහුවා.
"මොනාද?......... මම දන්නෙ නෑ........ ආ ඔය මේසෙ උඩ තිබුනු කොලයක්................"
හොඳ සිහිය එන්න ඇහැරිලා තිබුනත් මම නිදි මරගාතෙන් වගේ කිව්වා.
"මම ම එකතු කරලා බලන්නම්කෝ"
අම්මා කිව්වා. මගේ නිදිමට කොහෙන් ගියාද දන්නේ නැහැ. මම ටක්ගාලා කියන්න බොරුවක් මතක් කර ගත්තා. ටයික වෙලාවකින් අම්මා මෙහෙම ඇහුවා.
"කවුද සිත්මිණි කියන්නේ?" කියලා.
"මම දන්නේ නැහැ." මම කිවුවා.
"එයා පන්තියේ ඉන්න ගෑනු ළමයෙක්ද?" අම්මා සාමාන්‍ය විදිහට ඇහුවා.
"අපේ ඉස්කෝලෙ කොහෙද අම්මෙ ගෑනු ළමයි ඉන්නේ?"
"ඉස්කෝලෙ නෙමෙයි. ඔයා යන ක්ලාස් එකේ."
" නෑ. එහෙම කවුරුත් නැ." මම නිකන් ගනන් ගන්නේ නැතිව කිවුවා.
"එහෙනම් කමක් නැ. හැබැයි පුතේ ඔය කුණු ඔළුවෙ දාගෙන ඉන්නකෝ. ඕ ලෙවල් රිසල්ට් එන වෙලාවට මම බලාගන්නම්" එහෙම කිව්ව අම්මා ආයෙත් ඒ ගැන කතා කළේ නෑ.


ඒත් සිද්ධිය එතැනින් ඉවර වුණේ නෑ. තවත් මගේ ෆ්‍රෙන්ඩෙක් හිටියා පුබුදු කියලා. එයා මාර මීටරයක්. ඉංග්ලිෂ් මීඩියම් කරන්නේ. හැබැයි කිසිම නරක වචනයක්, කොටින්ම කිව්වොත් උඹ බන් බොලන් වත් කියන්නේ නෑ. අර ලියුම් සිද්ධිය වුණේ අපේ දහම් පාසලේ භක්ති ගීත ප්‍රැක්ටිස් තියෙන දවස් වල. මමත් භක්ති ගීත කියන්න හිටියා. පුබුදුත් හිටියා. ඉතින් අර ලියුම මාට්ටු වෙච්ච දවසේ රෑ අපේ ගෙදර සීඩීඑම්ඒ ‍ෆෝන් එකට මැසේජ් එකක් එවලා තිබුනා මෙහෙම.
" අනේ ඔයා අද එන්නේ නැද්ද? මම තනියෙන් ඉන්නේ. අද මධූ ආවෙත් නෑ. අනේ ඔයා කොහොම හරි එන්න. මම බලාගෙන ඉන්නවා."
මේක අපේ අම්මා දැක්කා. ඊට පස්සේ මගෙන් ඇහුවා මේ කවුද කියලා. මම කිවුවා ඒ මගේ යාලුවා පුබුදු කියලා. ඒත් අම්මට ෂුවර් නෑ. මොකද ලියුමකුත් මාට්ටු වෙලානේ තියෙන්නේ. අනික එයා එතන "මධු" කියලා ලියලත් තියෙනවනේ. හැබැයි එයා "මධූ" කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඒත් අම්මා හිතුවේ ඒකත් කෙල්ලෙක්ගේ නමක් කියලා. 


ඊට පස්සේ අම්මා කළේ ඒ නම්බර් එකට කෝල් එකක් ගත්ත එක. හැබැයි කෝල එකක් ගත්තට පස්සේ අම්මගේ සැකේ නැති වුණා. මොකද එතකොට කතා කළේ කොල්ලෙක් නිසා. හැබැයි මේකෙන් මම පාඩම් දෙකක් ඉගෙන ගත්තා.
1. අනුන්ගේ කෙල්ලෝ දෙන ලියුම් අරගන්නෙ නැතිව ඉන්න එක.
2. මට මැසේජ් කරන එවුන්ට එවන මැසේජ් කොල්ලෙක් එවනවා වගේ එවන්න කියන එක.
- නම් ගම් මනඃකල්පිතයි (ඇත්ත නමින් චුට්ටක් විතර වෙනස් කළා)

Sunday, June 3, 2012

රචිත්‍ර ගේ පෙනුම වෙනස් වෙයි

රචිත්‍ර ගේ නිදහස් අඩවියට ආපු ඕගොල්ලො දකින්න ඇති අමුතු වෙනසක්. රචිත්‍ර ගේ නිදහස් අඩවියේ පෙනුම වෙනස් කරලා. එක තැන පල්වෙන පෙනුමක් තිබුනු මගේ සයිට් එකට අලුත් පෙනුමක් දුන්නොත් හොදයි කියලා හිතුනා. ඉතින් මම btemplates.com වෙබ් අඩවියට ගිහිල්ලා මගේ බ්ලොග් එකට අලුත් තීම් එකක් ඩවුන්ලෝඩ් කලා. ඒක තමයි දැන් මේ ඕගොල්ලෝ දකින්නේ. ඔයාගෙ සයිට් එකටත් අලුත් තීම් එකක් දානවනම් මෙතන ක්ලික් කරලා ඕන කරන තීම් බාගන්න පුළුවන්.
අළුත් පෙනුමේ තියෙන හොඳ නරක එහෙම තියෙනවානම් කමෙන්ට් කරලා යන්න. ඒත් ඕගොල්ලෝ බලනවා ඇති පෙනුම ලස්සන වුණාට බ්ලොග් එකේ බඩු නෑනෙ කියලා. මොනවා කරන්නද? සයිට් එකට අළුතෙන් පොස්ට් දාන්න කියලා හිතාගෙන හිටියට මොකද ඒකට වෙලාවක් නෑනෙ. හැමදාම පන්ති. ඕ ලෙවල් වලට තව මාස 5යි. අම්මා කෑ ගහනවා "පාඩම් කරපං" කියලා. දවස් දෙක තුනකට පාරක් කම්පියුටර් එක යූස් කරන්නේ. ඒත් පැය බාගයක් විතර.  අදත් ඉතින් මොකුත් ලියන්නෙ නැතුව ඉන්න බැරි කමට ඔන්න එහේ වචනයක් දෙකක් ලියලා ගියා. ඒත් බයවෙන්න එපා. මම මට පුළුවන් විදිහට කතාවක් දෙකක් දාන්නම්. අදට යන්නම්. ඔබ සැමට සුභ දවසක්..............